එඩ්මන්ඩ් හිලරි සහ ටෙංසිං නෝගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය වූ එවරස්ට් කඳු මුදුනට මුල් වරට නැංගා ඔබට මතක ඇති. එය එවකට මේ ග්‍රහලෝකයේ ඉන්නා හැම කඳු නඟින්නකුගේ ම සිහිනයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ලෝකයේ උස ම කඳු ශිඛරය ලෙස එකල සලකනු ලැබූ උසින් මීටර 8,800ක් වූ එවරස්ට් කුරු මිට්ටකු කරන අලුත් සොයා ගැනීමක් කරන්න ලෝක විද්‍යාඥයන් සමත්වී තියෙනවා. කිලෝමීටර 1000ක් (සැතැපුම් 620ක්) තරම් උස කඳු දෙකක් මේ විස්මිත සොයා ගැනීමට ඇතුළත් වෙනවා. ඔබ කඳු නඟින්නකු නම් මේක අහලා කලබල වෙලා ඒ කඳු නඟින්න යන්න සුදානම් වෙන්නත් එපා!
මේ විස්මිත යෝධ කඳු දෙක සොයා ගෙන තියෙන්නේ නෙදර්ලන්තයේ යූට්‍රෙක් (Utrecht) විශ්ව විද්‍යාලයේ භූකම්පන විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ කාන්තාවක්. ඇය යූට්‍රෙක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආවෙන් ෆෙඩෝරා ඩුවෙස් (Dr Arwen Fedora Deuss). ඇය භූකම්පන විද්‍යාව හා පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ විශේෂඥවරියක්. ඇය හෙළිදරවු කළ තොරතුරු අනුව මේ විස්මිත කඳු දෙක සැඟවී ඇත්තේ ඕස්ට්‍රේලියාව දෙපැත්තේ කිලෝ මීටර් 2,000ක් (සැතැපුම් 1,200ක්) පෘථිවි අභ්‍යන්තරයේයි. (ඉදිරියට කියවන්න පෙර පහතින් ඇති පෘථිවියේ හරය බලන්න.)
පර්යේෂකයන් කියන විධියට මේ දැවැන්ත කඳු දෙක පිහිටා ඇත්තේ අප්‍රිකාවට එපිටින් පැසිපික් සාගරය යට, පෘථිවියේ මැන්ටලයත් (ප්‍රවාරණයත්) හරයත් අතරයි. එනම් පෘථිවියේ බාහිර කටුවට (කබොලට) යටින් ඇති අර්ධ ඝන කොටසේයි. ඒ අවට යට කරගෙන ඇත්තේ කැඩුණු බිඳුණු භූකාරක තැටිවල සුන්බුන් වගයක්. ඒ භූකාරක තැටි බිඳී ගොස් ඇත්තේ වසර බිලියන ගණනකට පෙර පෘථිවියේ හැපුණු විශාල ග්‍රහ වස්තුවක් නිසයි.
පර්යේෂකයන්ගේ අලුත්ම අධ්‍යයනයකින් කියැවෙන්නේ මේ සාගරවල ඇති දූපත් ඒවා අවට ඇති පෘථිවි පෘෂ්ඨයට වඩා උෂ්ණත්වයෙන් ඉතා වැඩි අගයකින් තිබුු බවයි.
විද්‍යාඥයන් දශක කීපයක් තිස්සේ දැන ගෙන සිටියා, පෘථිවි මැන්ටලයට (ප්‍රවාරණයට) යටින් දැවැන්ත ව්‍යුහයන් කීපයක් මිහිදන් වී ඇති බව. ඒවා හඳුනා ගැනීමට නොහැකි වූයේ එකල ඒ සඳහා විද්‍යාත්මක ක්‍රම හා උපකරණ නොමැතිවීම නිසයි. අද විද්‍යාඥයන්ට භූකම්පන නිසා ඇති වන ප්‍රකම්පන තරංග පෘථිවි අභ්‍යන්තරය හරහා විහිදෙන විට ඒවා සියුම් ලෙස මැනීමට හැකියාව තියෙනවා.
පෘථිවිය තුළ අති ප්‍රබල භූකම්පනයක් ඇති වූ විට එයින් පෘථිවිය සීනුවක් මෙන් නින්නාද වෙනවා. ඒ කම්පන තරංග පෘථිවියේ එක් කොටසක සිට අනෙක් කොටසට පැතිරෙනවා. මේ කම්පන තරංග මෙසේ යද්දී වැඩි ඝනත්වයක් ඇති හෝ වැඩි උෂ්ණත්වයක් ඇති කොටසක් හරහා යාමට සිදුවුණොත් ඒවායේ දුර්වල වීමක් හෝ පරාවර්තනය වීමක් සිදු වෙනවා.
ඒ අනුව, පෘථිවියේ කම්පනයක් ඇති වූ පැත්තේ සිට විහිදෙන තරංගවල තානයට අනෙක් පැත්තේ සිට ඉතා සුක්ෂමව සවන් දෙන විද්‍යාඥයන්ට ඒ අතර ඇති බාධකයේ ස්වභාවය තේරුම් ගන්නත්, ඒ වගේ ම එහි ඇති දේ කුමක් දැයි නිගමනය කරන්නත් පුලුවන්.
පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ භූකම්පන තරංග සියුම් ලෙස පරීක්ෂා කිරීමෙන් පසු සොයා ගනු ලැබුවා මැන්ටලයට යටින් ඇති විශාල ප්‍රදේශ කීපයක් හරහා එන කම්පන තරංග ලොකු වෙනස් වීමක් ඇතිව නිකුත් වන බව. ඒ ප්‍රදේශ ඔවුන් හැඳින්වූයේ කම්පන ප්‍රවේග විශාල ලෙස වෙනස් වන කලාප (Large Low Seismic Velocity Provinces එනම් කෙටියෙන් LLSVP) ලෙසයි.
මේ පිළිබඳව ඔවුන් කළ පර්යේෂණයෙහි අධ්‍යයන වාර්තාව එළිදක්වමින්, මහාචාර්ය ඩුවෙස් කියන්නේ, ‘මෙසේ කම්පන තරංග ශක්තිය වෙනස් වීමට හේතුව මේ LLSVP බාධකය බවයි. ඒක හරියට ඔබට දේශගුණය සිසිල්ව පවතින තරම් වේගයෙන් උණුසුම වැඩි වූ විට දුවන්න බැරි වෙනවා වගෙයි’ කියායි. වැඩි උෂ්ණත්වයක් ඇති විට මේ තරංගවලට ඒ හරහා යාමට වැඩි ශක්තියක් වැය කිරීමට සිදු වෙනවා.
මෙහි සම සංස්කාරකවරිය වූ සුජානියා තලවේරා-සෝසා කියන්නේත්, ඒ වගේ අදහසක්. අධික උෂ්ණත්වයකදි ඔබේ දිවීමේ ශක්තිය අඩුවෙනවා මෙන් මේ කම්පන ශක්තිය විහිදීමේ තානය වෙනස් වෙනවා. මෙහිදී ලැබුණු දත්ත පිරික්සූ විද්‍යාඥයන් ඔවුනට දක්නට ලැබුණු දෙයින් පුදුමයට පත් වුණා.
‘අපි අපේක්ෂා නොකළ දෙයක් අපට හමුවුණා. LLSVP කොටසෙහි තද ගතියට වඩා ටිකක් තෙත් ගතියක් තිබෙන බවක් අපට පෙනී ගියා. ඒ කලාප හරහා එන කම්පන තරංගවල ශබ්දය වැඩි බවක් පෙනුණා. අපට වැඩිපුර තෙතමන ගතියක් දක්නට ලැබුණු ඒ අවට අනෙක් ප්‍රදේශවල ඉතා මෘදුවටයි අසන්ට ලැබුණේ.’ ආචාර්ය සුජානියා කියනවා.
ඝට්ටනයේ දී පෘථිවිය ඇතුළට ගිය තැටිවල පාෂාණ කැබලි තෙත් ගතියෙන් වැඩි වූයේ හරය දෙසට යද්දී ප්‍රතිස්ඵටිකකරණයට ලක් වීමෙන් ඒවා සැහැල්ලු ව්‍යුහ බවට පත් වීම නිසයි. මෙයින් අදහස් කෙරෙන්නේ ඒ කඳු සෑදී ඇත්තේ ඒ වටා ඇති තැටිවල කැබලිවලට වඩා මඳක් ලොකු කැබලිවලින් බවත්, ඒ වගේ ම ඒවා අතරින් යන කම්පන තරංගවලින් ශක්තිය උරා නොගන්නා බවත් තමයි.
‘මේ ඛනිජ කැබලි අංශු එක් රාත්‍රියක් ඇතුළත ඇති වන දේ නොවෙයි. ඒවා ගැන එකක් කිව හැකියි. මේ LLSVP කොටසෙහි ඇති ද්‍රව්‍ය ඒ අවට බිඳී ගිය තැටිවලට වඩා මිලියන ගණනක් වයසැති ඒවා බවයි.’ ආචාර්ය සුජානියා තවදුරටත් කියනවා.
මේ පර්යේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව මේ පොළොව යට මහ කඳුවල වයස අඩු තරමින් වසර මිලියන 500ක් වත් ඇති. සමහර විට ඒවායේ වයස ඊට බොහෝ වැඩි වෙන්නත් පුලුවන්. ඒවා පෘථිවිය තරම්ම පැරණි වෙන්නත් පුලුවන්. මෙයින් මෙතෙක් සාම්ප්‍රදායිකව පැවති අදහස වූ මැන්ටලය වෙනස් නොවී දිගටම පවතීය යන මතයට පහරක් වදිනවා. ඒත් මැන්ටලය ඇත්තෙන්ම ද්‍රවයක් නොවූවත් එය ඉතා දීර්ඝ කාලීන කාල රාමු අනුව ද්‍රවයක් මෙන් චලනය වන බවයි දැන් විද්‍යාඥයන් කියන්නේ.
කලින් සිතා සිටියේ මේ මැන්ටලය ගලා යන ධාරා නිසා හොඳින් මුසු වී ඇති බවයි. ඒත් මේ ව්‍යුහයන් වසර බිලියන ගණන් පැරණි ඒවා නොවෙනස්ව පවතිනවා පමණක් නොව මැන්ටලයේ සංවහනය නිසා වෙනස් වෙතැයි සිතිය නොහැකි බවයි. එහින් අදහස් වෙන්නේ මැන්ටලයද හොඳින් මුසු වී නැති බවයි.
ඒ පර්යේෂකයන් කියන්නේ අපේ චන්ද්‍රයා සෑදුණේ අඟහරු තරම් ප්‍රමාණයේ ග්‍රහ වස්තුවක් පෘථිවිය තුළට කඩා වැදීමෙන් බවයි. ඒ බිහිසුණු ගැටුමෙන් ඒ ග්‍රහ වස්තූන් දෙකෙහිම උණු වූ පාෂාණ අවකාශයට විසිවුණා. ඒවා පසුව සිසිල් වීමෙන් චන්ද්‍රයා සෑදුණු බවයි. ඒත් චන්ද්‍රයා බොහෝ සේ කුඩා නිසා ආකාශවයට විසිවුණු අනෙක් කොටස්වලට කුමක් සිදුවුණේ දැයි යන ප්‍රශ්නය මෙහිදී මතුවුණා.
ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් කියන්නේ, මේ LLSVP කොටසෙහි ඇත්තේ ඒ ග්‍රහයාගේ ගැටුමෙන් පෘථිවියෙහි රැඳුණු කොටස් විය හැකි යැයි කියායි. පර්යේෂණාත්මක සසඳා බැලීම් ගණනාවකින් පසු විද්‍යාඥයන් තීරණය කළා, පෘථිවියෙන් සියයට දෙකක් තරම් වන කොටසක් පුරාණ පෘථිවියේ පහළ මැන්ටලය තෙක් ඇතුළට කිඳා බසින්නට ඇතැයි කියායි. මේ කරුණුවලින් මේ කලාප උෂ්ණත්වයෙන් වැඩි වුණේ ඇයි දැයි කියා අපට පැහැදිලි වෙනවා. ඒ වගේ ම, මේ කලාපවල පාෂාණ, ඒ අවට පාෂාණවලට වඩා ඝනත්වයෙන්, උෂ්ණත්වයෙන් හා වයසින් වැඩි වීමට හේතුව එයින් තවදුරටත් පැහැදිලි වෙනවා.
තෙයියා (Theia) මූලික ග්‍රහහා පෘථිවි ග්‍රහයා හා ගැටී චන්ද්‍රයා බිහි වෙයි!
වසර බිලියන 4.45කට පෙර, සෞරග්‍රහ මණ්ඩලය බිහි වී වසර මිලින 150 පමණ පසු, අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණයේ ග්‍රහයෙක් පෘථිවියේ ගැටුණා. එයට නම තබා ඇත්තේ තෙයියා (Theia) කියායි. ඒ ප්‍රචණ්ඩකාරී මහා ගැටුම හේතුවෙන් පෘථිවියෙන් කොටසක් සුන්බුන් ආදිය ධූලි වලාවක් ලෙසින් අවකාශයට විසි වුණා. ඒ සුන්බුන් හා දූවිලි බොහෝ කැලතී තදින් මුසු වීමෙන් පසු බිහි වූ ගෝලාකාර වස්තුව අපේ චන්ද්‍රයායි.
ඒ නිසා චන්ද්‍රයාගේ පස් හා පෘථිවියේ පස්වල සමානකමක් ඇති බව පෙනුණා. ඒ බව හෙළිදරවූයේ නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු ඇපලෝ අභ්‍යවකාශගාමීන් සඳ වෙත ගොස් ගෙනා පස් සැසැඳීමෙන් අනතුරුවයි. චන්ද්‍රයාගේ හා පෘථිවියේ සමානකමට අදාළව මත ගණනාවක් වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර තියෙනවා. මේ ග්‍රහලෝකයට එම නම තැබුවේ ග්‍රීක මිථ්‍යා කතාවල එන ටයිටන් අනුව යමිනුයි. ඒ ග්‍රීක ප්‍රවාදයේ එන ටයිටන්‍ගේ මව වූ සෙලීන්, සඳට අධිපති දෙව්දුවයි.
පෘථිවියේ ස්තර හතර
පිටකටුව (කබොල) Crust
සැතැපුම් 44ක් පමණ ගැඹුරුයි. මෙයට සියලු භූමි ප්‍රදේශ හා ජලාශ, සාගර, මුහුදු සියල්ලම ඇතුළත් වෙනවා.
මැන්ටලය (ප්‍රාවරණය) Mantle
ඉහළ මැන්ටලය හා පහළ මැන්ටලය යනුවෙන් කොටස් දෙකකට බෙදෙන මෙය සැතැපුම් 1,800ක් ගැඹුරට විහිදෙනවා. මෙය පෘථිවි ග්‍රහයාගේ ඝනකමින් වැඩි ස්තරයයි. මෙය සෑදී ඇත්තේ, පිටකටුවේ තිබෙනවාට වඩා යකඩ හා මැග්නීසියම් ආදියෙන් සමන්විත සිලිකේට් පාෂාණවලිනුයි.
බාහිර හරය Outer core
මේ කොටස සැතැපුම් 1,800 සිට 3,200 දක්වා විහිදෙනවා. මේ කොටස සෑදී ඇත්තේ ද්‍රව යකඩ හා නිකල්වලිනුයි. ඒ සමග සැහැල්ලු මූල ද්‍රව්‍ය කීපයක් ද මිශ්‍රව තිබෙනවා.
ඇතුළත හරය Inner core
මෙය පෘථිවියේ හරි මැද තෙක් සැතැපුම් 3,960ක් දුරට විහිදෙනවා. මේ කලාපය ඝන යකඩ හා නිකල්වලින් සමන්විත යැයි මුලින් සිතුව ද දැන් නව අධ්‍යයනයන්ට අනුව මෘදු හා ඝන යකඩවලින් යුතුයි.
0 Comments